Thursday, February 2, 2017

පසු විපරම

දැන් ලංකාවට අධ්‍යාපනයේ නිදහස ලැබී ඇත . මෙච්චරකල් මේ රටේ අධ්‍යාපනයට තිබුනේ මාර බාධකය . සරසවි වලට සිසුන් තෝරා ගත්තේ අන්තරේ විසින් මිස විභාග ක්‍රමයකින් නොවේ . විභාග ක්‍රමයේ Z අගය තරම් අවුලක් තවත් තිබුනේ නැත . මේ රටේ දේශප්‍රේමී දේශපාලකයන් කල සංවර්ධනයට පින්සිද්ද වෙන්නට ලංකාවේ දිස්ත්‍රික්ක වල සම්පත් විෂමතාවක් නැත . Z අගය 100% සාධාරණද ? නැත . 100% සාධාරණ ඇතුල්වීමේ ක්‍රමයක් සකස්කළ හැකිද ? මම දන්නා තරමින් නම් බැරිය  . Z අගය නිසා අසාධාරණ වන අයට යන්නට තවත් විශ්වවිද්‍යාල තිබිය යුතුය . PMC මේ ප්‍රශ්ණයට විසඳුමද ? මට නම් එහෙම පෙන්නේ නැත . මොකද ඔය කියන Z අගය දශමෙන් miss වුනු අපේ යාළුවන්ට සිදු වුණ දේ අපි හොඳින් දනිමු . ඔවුන්ට PMC වලින් පිහිටක් වේද ? නැත . ඒ අයටත් වෛද්‍ය වරයෙක් වීමේ සිහිනය තිබුණි . ඔය කියන්නේ 10%ක් ඒ අයට ශිෂ්‍යත්ව කියාය . ඒ වෙනුවෙන් ඉතා අඩු ප්‍රථිපල සහිත 90%ක් මුදල් මත පමණක් පදනම් ව වෛද්‍ය වරු කිරීම z අගයට වඩා පට්ට සාධාරණය . අධ්‍යාපනයේ නිදහස ලැබෙන්නේ එවිටය . තමන් කැමති විෂය , තමන්ට වඩා සුදුසුකම් සහිත පිරිසක් පසෙකලා , මුදල් තිබීම යන සාධකය මත පදනම්ව , ඉගෙනීමට ලැබීම අධ්‍යාපනයේ නිදහසය . මේ රට ආසියාවේ ආශ්චර්ය කියන්නේ මේවා නිසාය .

මේ කියන PMC නිසා , දැන් වෛද්‍ය සභාව ට දෙවි පිහිටය . රටේ සෞඛ්‍ය ඇමති සාමාන්‍යයෙන් කරන්නේ ඒ රටේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමය . දැන් ලංකාවේ සෞඛ්‍ය ඇමති , දන්ත වෛද්‍ය වරයෙකි . ඔහු සෞඛ්‍ය ගැන දන්නා අයෙකි . මීට කලින් සිටි සෞඛ්‍ය ඇමති වරු රැකියාව කලේ ග්‍රාම නිලධාරී , නීතිඥයන් ආදී වශයෙනි . මේ නඩු තීන්දුව අනුව , ආචාර්ය , මහාචාර්ය වරු , වෛද්‍ය සභාව හරහා ඉදිරිපත් කල නිර්දේශ , සෞඛ්‍ය ඇමති ක්‍රියාත්මක නොකළ නිසා , වෛද්‍ය සභාව ඔය කියන කවුරුත් , කොහොම ආවත් පිළිගත යුතුව . මෙය ලංකාවේ නීතියය . වඩාත් පුදුම සහගත කරුණ , ලංකාවේ මිනිස්සු මේ තීන්දුවෙන් ලැබුවේ පට්ට ජයග්‍රහණයකි . "පාර්ලිමේන්තු මන්ත්‍රී වරු මෙච්චර සා . පෙළ , උ .පෙළ අසමත් , ඉතින් අපි දියුණු වෙයිද ?" අසන fb වීරයන් දැන් ලැබුවේ විජයග්‍රහණයකි .මීට කලින් සිටි සෞඛ්‍ය ඇමති බඳවා ගන්නට එපා , ශික්ෂණ රෝහලක් ලෙස පිළිගත නොහැකි යයි කීව තැන , මේ ඇමති යටතේ වෛද්‍ය සභාව ලියාපදිංචි කල යුතුය.
 වත්මන් ඇමති තුමා පවුල් පාලනය අවසන් කිරීමට නායකත්වය දුන් කෙනෙකි . අද එතුමාගේ පුතා වකුගඩු රෝග වැළැක්වීම සම්බන්ධ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජෙනරාල්ය , බිරිඳ සෞඛ්‍ය පරිපාලනයේ ඉහලම තනතුරක් දරයි . ඔවුන්ට ඒවාට සුදුසුකම් ඇතිද නැතිද යන්න මම හරියටම නොදනිමි . මේ රටේ එම තනතුරු වලට ඊට වඩා සුදුසුකම් ඇති අය අනන්තවත් සිටින බව නම් දනී .  තම ලේලි ඉගෙන ගන්න තැන අපක්ෂපාතිව තීන්දු ගන්නේ මෙවන් පසුභිමක් යුත්  සෞඛ්‍ය ඇමතිය . රටක ජනාධිපති , අගමැති , රට හැර ගිය බුද්ධිමතුන්ට ආයෙත් එන්න කියන්නේ මෙවන් රටකටය . ඉන්න කීප දෙනාටත් යන්න හිතෙන වැඩ සිද්ද වෙන රටකට , ගියපු අය ආයෙත් ඒවි යැවී සිතීම විහිළුවක් යයි මගේ බුද්ධි මට්ටමට මට තේරෙන තරමය .

දැන් රටටම සතුටුය . වෛද්‍ය සංගමය , වෛද්‍ය සභාව , පිටාධිපතිවරුන් , වෛද්‍ය සිසුන් , අන්තරේ , හැමෝම පාඩමක් ඉගෙන ගත්තේය . ජනතාවට full marvelous ය . සිංගප්පූරුවෙන් බෙහෙත් ගන්න සෞඛ්‍ය ඇමති , ජනතාවට සුදුසුම තීරණය ගනු ඇත . මීට කලින් ඖෂධ මාෆියාවට එරෙහි නැගී සිටි මහාචාර්ය වරු ඉවත් වෙන විට  , මේ සෞඛ්‍ය ඇමති හිස් මුදුනෙන් ඔවුන්ව ආරක්ෂා කළේය .  ඇමතිතුමාට ස්තුති කර  පෝස්ටර් ගහන රෝගීන් කියන පරිදි දැන් බෙහෙත් පට්ට ලාභය . ඇමති කියන පරිදි , clinical trial වල විස්තර නැතත් , ඇමති ගෙන්නන බෙහෙත පිලිකා  රෝග සම්බන්ධ වෛද්‍ය වරු රෝගීන්ට ලබා දිය යුතුය . දැන් නීතියට අනුව , ඇමති කැමති විදිහට වෛද්‍ය වරු පිළිගැනීම , ඉවත්කිරීම කල හැක . වෛද්‍ය සභාව දේවල් කියනු ඇත . අහන , නොඅහන එක ඇමතිගේ වැඩක්ය . ඇමති මොකුත් කලේ නැත්තම් , වෛද්‍ය සභාව කියන දේ පිළිගන්නේ නෑ යැයි නිගමනය වේ . ඉතා කාර්යක්ෂම අමාත්‍යංශ පිරි රටකට මෙම ක්‍රමය විශිෂ්ටය .

ඔය කියන විදිහට , හෙට අනිද්දා තවත් PMC කීපයක් ආරම්භ කිරීමට නියමිතය . ලංකාවේ නීතියට , සෞඛ්‍ය ඇමතිට අනුව වෛද්‍ය වරයෙක් වීමට හදිසි අනතුරු , මාතෘ /ළමා රෝග ඇති රෝගීන් පරීක්ෂා කිරීම අනිවාර්ය නොවේ . සියලු අංශවල සමස්ත රෝගී සංඛ්‍යාවේ අඩුව - වෛද්‍ය උපාධියේ ප්‍රමිතියේ ඉතා සුළු සාධකයකි .(ඇමති උත්තරීතර පාර්ලිමේන්තුවට වාර්තා කලේ මෙහෙමය ). හදිසි අනතුරු , මාතෘ /ළමා රෝග පෞද්ගලික අංශයට අඩුවෙන් වාර්තා වෙන බව සැබෑය  . ඒ මගින් මට ගම්‍ය වෙන එක කරුණක් ඇත . ජීවිතය මරණය අතර අවස්ථාවල , ගොඩක් සැලකිලිමත් ළමයින් ගැන හිතද්දී , තවමත් රාජ්‍ය අංශය ගැන මිනිසුන්ට ෂුවර්ය . හෙට අනිද්දට එන තර්කය , PMC වලට රජයේ ඉස්පිරිතාල ලබාදිය යුතුය යන්නය . ඒවටත් මේ හුරේ දමන අය හුරේ දමා උඩ පනිනු ඇත . ඒ අයම ,අනතුරක් වෙලා හදිස්සියට හොස්පිටල් ගිය වෙලාවට බිලක් එන දවසට පාලකයන්ට ශාප කරනු ඇත . මේ typical ලංකාවය . මුලින් දේශපාලකයන් පෙන්නන දිරච්ච ලණු ගිලියි . ඇත්ත තේරෙන දවසට දේශපාලකයන්ට පලු යන්ඩ බණි . එසේ බණින දවසට දේශපාලකයෝ  ජනතාවට කොකා පේන්නති . පස්සේ හැමෝම , හැම දේටම දේශපාලකයෙක් පස්සේ දුවයි .

ඉතිං උඩපනින්න . සතුටු වන්න . රාජ්‍ය වෛද්‍ය පීඨ බිඳ වැටී(දාන PMC වල උගන්නන්නේ මේ රටේ ආචාර්ය වරුමය . දැනට තියෙන රජයේ ටිකටත් ආචර්යවරු හිඟ බව කියන්නේ මේ රටේ උසස් අධ්‍යාපන ඇමතිය ) , රජයේ රෝහල් ටික බිඳ වැටෙන විට , වෛද්‍ය වරුන්ට ගොඩාක් රිදෙනු ඇත . මොකද පෞද්ගලික රෝහල් වල සේවයට පිටරටවල් වලින් වෛද්‍ය වරු ගේන නිසා වෛද්‍ය වරුන්ගේ බමුණු කුලය බිඳවැටී , ජනතාවට මනෝරම්‍ය සෞඛ්‍ය සේවයක් ලැබෙනු ඇත . ඉතින් සමරන්න . උසස් ප්‍රතිඵල අරන් උසස් අධ්‍යාපනය ලබන ක්‍රමයේ වැරදි වැසීමට , වඩා හොඳ ප්‍රතිඵල අභිබවා මුදල් ඇතිනම් ඉගෙන ගැනීමේ නිදහස දැන් ඔබට උදා වුයේය . ඉතින් සමරන්න . ඔබට හා රටට ජය !

No comments:

Post a Comment